• Breaking News

    ඉරාන්ගේ අතුරු කමිටුව අතුරේ යවන්නන්ගෙන් පරිස්සම් විය යුතුයි


    ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වසාගෙන තිබුණු අඳුරු වළාකුළු දුරලමින් ආලෝකමත් වූ බවක් පෙන්නුම් කරමින් ඉරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් යුත් නව ක්‍රිකට් අතුරු පාලන කමිටුව 30 දා ක්‍රිකට් මූලස්ථානයට ගොස් වැඩ ආරම්භ කරන්න යෙදුනා. ෂම්මි ප්‍රමුඛ පිරිස එලවා දමන්න ඔවුන්ගේ හොර මැරකම් දිගින් දිගටම හෙළි කළ lankasportsnews මේ පිළිබඳව ඉන්නේ පුදුම සතුටකින්.


    එහෙත් ෂම්මි ප්‍රමුඛ විධායක කමිටුව ඉල්ලා අස්ව ගියත් ඔවුන් ගියේ වැටුප් ලබන ඔවුන්ගේ ගෝල බාලයන් වන දූෂිත නිලධාරින් පිරිසක් ඉතිරි කරමින් බව අමතක නොකළ යුතුයි.


    මේ අතරින් අංක එකට ගැනෙන්නේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වායි.


      තමන්ට විරුද්ධව ලිංගික අල්ලස් ඉල්ලීම් චෝදනා ඇතුළු චෝදනා රැසක් ඇතත් අතුරු කමිටු ඇතුළු තිලංග හා ෂම්මි පාලන සමයන් තුළ ලක්ෂ 35 ක් දක්වා මාසික වැටුපද වැඩි කර ගනිමින් රැඳී ඉන්න තරම් කපටියකු වන ඈෂ්ලිගෙන් වත්මන් අතුරු කමිටුව ප්‍රවේශම් විය යුතුයි. 


    ගයාත්‍රි නම් හිටපු ලේකම් වරියගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවට ඇය විසින් ගොනු කර තිබුණු නඩුවක් තවමත් අධිකරණයේ විභාග වෙමින් පවතිනවා.


    අතුරු කමිටු වලට වැරදි තොරතුරු සපයා ඔවුන් මුලා කිරීමත් හිටපු නිලධාරින්ට හොරෙන් තොරතුරු සැපයීමටත් මොහු අති දක්ෂයෙක්.


    අතුරු කමිටුව හරි නම් මුලින්ම කළ යුතුව ඇත්තේ මොහුගේ කොන්ත්‍රාත්තුව දිගු නොකර එම තනතුරට සුදුස්සකු බඳවා ගැනීමයි.


    මොහුගේ කාර්‍යාලය මෑතකදී අළුත්වැඩියා කිරීමට පමණක් මිලියන 225 ක් වියදම් කොට තිබෙනවා.


    මේ වන විට විදෙස් සංචාර සිය ගණනකට වඩා ගොස් ඇති ඈෂ්ලි ඒ වෙනුවෙන් පර්ඩියම් ලෙස ලබා ඇති මුදල ඩොලර් ලක්ෂ ගණනක්.

    කොළඹ පිහිටි මොහුගේ නිවෙස අති සුඛෝපභෝගී ලෙස නිම කර තිබෙනවා.


    මොහුගේ වත්කම් සොයා බැලුවොත් පසුගිය වසර පහළොවක් තුළ කොතරම් මුදලක් සොයා ගෙන ඇත්දැයි අල්ලස් කොමිසමට සොයා ගත හැකියි.


    මොහුට අමතරව ගන්නා වැටුපට වඩා කෝටි ගණනක් කොමිස් වලින් ගසා කෑ අනිකුත් නිලධාරීන් ඉදිරියේදී හඳුන්වා දීමට lankasportsnews සූදානම්.


    ඉරාන් වික්‍රමරත්න ඇතුළු අතුරු කමිටුව පරිස්සමෙන්. ( පරාවර්තන කමිටුව යනුවෙන් ක්‍රීඩා ඇමතිවරයා බොරුවට හැඳින්වුවත් මෙය සැබැවින්ම අතුරු කමිටුවක් බැවින් අප දිගටම මෙය හඳුන්වන්නේ අතුරු කමිටුව කියායි. මෙය අතුරේ යන කමිටුවක් නොවේවායි අප ප්‍රාර්ථනා කරන්නේ මීට පෙර පැවැති අතුරු කමිටු රැසකටම එම අත් දැකීමට මුහුණ දීමට සිදුවනු අප දැක ඇති නිසායි.)


    සබැඳි පෙර ලිපි 

    හොරුන් යවා වැරදි අය ගෙනාවොත් ඉඟුරු දී මිරිස් ගත්තා වගේ වෙයි

    ක්‍රීඩකයන්ට දමන නීති පාලකයන්ටත් අදාල විය යුතුයි

    ක්‍රිකට් ප්‍රේමීන් රතිඤ්ඤා සූදානම් කර ගන්න




    No comments