• Breaking News

    කලම්බු මැරතන් නම සොරා ගෙන ක්‍රීඩා ඇමති වෙනම තරගයක් පවත්වයි!


    වසර 19 ක් පවත්වා ගෙන පැමිණි කලම්බු මැරතන් Colombo Marathon තරගය ක්‍රීඩා අමාත්‍යාංශය මගින් හයි ජැක් කර තිබෙනවා. ඔරිජිනල් කලම්බු මැරතන් තරගය මෙවරත් ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිතව තිබියදී පතෝල කුමාර ක්‍රීඩා ඇමතිවරයා ක්‍රීඩා අමාත්‍යාංශය මෙහෙයවීමෙන් කලම්බු මැරතන් නමින් එවැනිම තරගයක් සැප්තැම්බර් මස පැවැත්වීමට යන බව පවසනවා.


    මෙම කලම්බු මැරතන් තරගය ආරම්භ කොට මෙතෙක් වාර්ෂිකව එය පැවැත්වූයේ ස්පෝර්ට්සරයිසන් ආයතනය මගිනුයි. එහි සභාපතිවරයා මීට දශක ගණනකට පෙර ජල ක්‍රීඩා ශූරයකු වන තිලක් වීරසිංහයි.



    මේ දක්වා ඔහු මෙම තරගය වසර 19 ක් පවත්වා ඇති අතර නොපවත්වා ඇත්තේ 2019 , 2020, 2021, 2022 වසර වල පමණයි. ඒ කොවිඩ් හේතුවෙන්.


    ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සොරා ගෙන ඇත්තේ මෙසේ 19 වරක් පවත්වා ඇති Colombo Marathon ලියාපදිංචි නාමයයි.


    මෙම මැරතන් තරගය මෙතෙක් පවත්වා ඇත්තේ ජාත්‍යන්තර මැරතන් රෙගුලාසි වලට අනුව හා පිළිගත් තරග නිලධාරීන් සහිතවයි.


    මෙසේ පසුගිය වසර වල පැවැත්වූ මැරතන් තරග වලට ක්‍රීඩකයන් පන්දහසත් අට දහසත් අතර ප්‍රමාණයක් සහභාගි වූ අතර විදේශිකයන් 500 කට අධික පිරිසක් සහභාගි වීම විශේෂත්වයක්.


    එනිසා රටේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කෙරෙන තරගයක් ලෙසද ප්‍රසිද්ධ වුණු වාර්ෂික ක්‍රීඩා තරග ඉසව්වක් බවට පත්ව තිබුණා.


    එසේ නම් සංචාරක කර්මාන්තය නඟා සිටු වන්න කියමින් මාසයක පරතරයක් ඇතිව ක්‍රීඩා අමාත්‍යාංශය Colombo Marathon නමින් එවැනිම තරගයක් අමාත්‍යංශ මුදල් කෝටි ගණනක් වැය කොට පවත්වන්නට යාම විහිළුවක්.



    ඒත් මෙහි සැබෑ කතාව නම් ඔරිජිනල් කලම්බු මැරතන් තරගය මෙතෙක් සංවිධානය කළේ නාමල් රාජපක්ෂගේ මාමණ්ඩිය වන තිලක් වීරසිංහ නිසා විය යුතුයි. 


    එහෙත් තිලක් වීරසිංහ අනුග්‍රාහකයන් සොයාගෙන නැතිනම් තම සමාගමෙන්ම අනුග්‍රහය දක්වමින් මෙම වාර්ෂික ඉසව්ව ආරම්භ කරද්දී නාමල් ඔහුගේ දියණිය කවුදවත් නොදන්නා පාසල් සිසුවකු වීම විශේෂත්වයක්.


    ක්‍රීඩා ඇමතිවරයා වැඩ කාරයෙක් නම් කළ යුතු වන්නේ මෙතෙක් කරගෙන ආ දෙයක් සොරා ගැනීම නොව නැවුම් අදහසක් ක්‍රියාත්මක කිරීමයි.


    ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනය පහත දැක්වෙනවා.


    ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා සංචාරක කේන්ද්‍රස්ථානයක් කරමින් "Colombo Marathon 2026" සැප්තැම්බර් වල පැවැත්වේ.


    තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන (Colombo Marathon) තරගාවලිය 2026 සැප්තැම්බර් මස කොළඹදී පැවැත්වෙන බව අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.


    අද දින ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ගරු තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අවධාරණය කළේ, මෙම ඉසව්ව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා සංචාරක ගමනාන්තයක් ලෙස ලෝක සිතියම තුළ ප්‍රමුඛස්ථානයකට රැගෙන ඒමට ඉවහල් වන බවයි.


    දේශීය හා විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත මෙම තරගාවලිය, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දක්වන දායකත්වය විදහා දක්වන සාධකයක් ද වනු ඇත.


    තරගාවලිය පූර්ණ මැරතන් (කි.මී. 42.195), අර්ධ මැරතන් (කි.මී. 21.097), කි.මී. 10 ධාවන තරගය, කි.මී. 5 විනෝද ධාවනය සහ කි.මී. 1–2 ළමා කුඩා මැරතන් යන අංශ යටතේ පැවැත්වේ. මෙහි තාක්ෂණික කටයුතු සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සුදුසුකම් ලත් විනිසුරුවන් 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වේ.


    මෙම අවස්ථාවට අමාත්‍යාංශය ලේකම් අරුණ බණ්ඩාර මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. අච්චුදන් මහතා, මලල ක්‍රීඩා සංගමයේ සභාපති බිමල් විජයසිංහ මහතා සහ ජාතික තාක්ෂණික නිලධාරී එච්.ඩී.ජේ. රත්නසූරිය මහතා සහභාගී වූහ.




    No comments