• Breaking News

    ෂම්මිලාට එරෙහි පැමිණිලි ගැන අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි


    මෙතෙක් දේශපාලකයන් හඹා ගිය අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන සභාව දැන් ක්‍රිකට් පරිපාලකයන් හඹා යාම ආරම්භ කර තිබෙනවා.


    මේ අනුව දානිෂ් අලි නම් අරගලකරු විසින් පසුගිය අප්‍රේල් 02 වැනිදා ක්‍රිකට් විගණන වාර්තාව පදනම් කරගෙන කරන ලද පැමිණිල්ලක් අනුව AC/0911/2026 පරිශීලන අංකය යටතේ විමර්ශන කටයුතු ආරම්භ කිරීමට අල්ලස් කොමිසම කටයුතු කර තිබෙනවා.


    මේ අනුව ෂම්මි සිල්වා පාලනය යටතේ පසුගිය වකවානුවේ සිදු කර ඇති දූෂණ හා වංචා පිළිබඳව විමර්ශන කටයුතු ඇරඹෙන්නේ ලංකාවේ සුවහසක් ක්‍රිකට් ලෝලීන්ගේ සතුට දනවමින්.



    මීට පෙර කිහිප දෙනකුම ෂම්මි හා සුජීව ඇතුළු හිටපු පරිපාලකයන් හිටි අඩියේ දෙස් විදෙස් දේපල හා ඉඩම් හිමිකරුවන් වී ඇති ආකාරය සොයා බලන ලෙස අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබුණත් ඒවා මෙතෙක් විභාග කර නොතිබුණු අතර අල්ලස් කොමිසමට පමා වී හෝ ක්‍රිකට් වලට අත ගසන්නට හැකි වීම විශේෂ සිද්ධියක්.


    මීට මාස ගණනකට පෙර හිටපු පාර්ලිමේන්තු නිලධාරියකු වන ලැසිල් ද සිල්වා කරුණු රැසක් සම්බන්ධව ලිපිගොනුද සහිතව ක්‍රිකට් පරිපාලනය පිළිබඳ අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබුණත් එම පැමිණිල්ල මෙතෙක් විභාගයට ගැනීම අල්ලස් කොමිසම විසින් පමා කර තිබුණා.


    කෙසේ වෙතත් අල්ලස් කොමිසමට කරුණු පරිශීලනය කිරීමට අවශ්‍ය නම් lankasportsnews දිගින් දිගටම ක්‍රිකට් පරිපාලනයේ දූෂණ හෙළිදරව් කරමින් සාක්ෂි සහිතව පෙන්වා දුන් වාර්තා උපයෝගී කර ගත හැකියි.


    ලංකාවේ වැඩිම ආදායමක් ලබන ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කටයුතු භාරව කටයුතු කළ භාණ්ඩාගාරික වරයාට ක්‍රීඩා පනත අනුව තිබිය යුතු අවම සුදුසුකමක් හෝ නොමැතිව වසර ගණනක් එම ධූරය දැරූ ආකාරය පිළිබඳවද වෙනම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.


    ක්‍රිකට් පරිපාලනයට එද්දී මරුටි කාර් වලින් ස්කූටි පෙප් වලින් ආ සමහරු අධි සුඛෝපභෝගී වාහන කිහිපයක හිමිකම් කියා ඇත්තේ වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිවයි.


    No comments