• Breaking News

    ක්‍රිකට් වංචා දූෂණ අංශය නිදා සිටියදී ක්‍රීඩා සමාජ වල තරග පාවාදීම්


    මේ සති අන්තය හා ලබන සති අන්තය ලංකාවේ දේශීය අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රමුඛ පෙළ 2025/26 තරගාවලියේ අවසන් සති අන්ත දෙකයි. සෑම වසරකම මෙම තරගාවලියේ අවසන් තරග දෙක තුන වන විට පහළට නොවැටී සිටීම සඳහා ඇතැම් ක්‍රීඩා සමාජ විව්ධ උපක්‍රම යොදමින් තරග පාවා දීම් සිදු කිරීම සාමාන්‍ය දෙයක්.


    ක්‍රිකට් ආයතනයේ තරග පාවා දීම් සොයා බැලීමට විශේෂ දූෂණ මර්ධන ඒකකයක් ඇතත් එමගින් මේ දක්වා කිසිදු තරග පාවා දීමක් සොයා ගැනීමට නොහැකිව තිබීම විශේෂත්වයක්.


    ලක්ෂ ගණන් පඩි ගන්නා එම අලස නිලධාරීන්ගේ රාජකාරිය ජාත්‍යන්තර තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ වලට යාමත් තරු හෝටල් වලට වී කකා බිබී සිටීමත් පමණයි.


    මේ වන විටත් පොලිස්-බ්ලූම්ෆීල්ඩ් තරගය පාවා දීමකට යටත්ව අවසන් වී ඇති බව ක්‍රීඩා සමාජ ක්ෂේත්‍රයේ කතා බහට ලක්ව තිබෙනවා.


    මෙම තරගය පොලිස් ක්‍රීඩා සමාජය පරාජයට පත් වුණේ මුල් ඉනිමේ ජයග්‍රහණය කර තිබියදී විශ්මිත ලෙස දෙවෙනි ඉනිමේ කඩුලු විසි කරමින්. මෙම තරගය ජය නොගත්තේ නම් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය ප්ලේට් ශූරතාවට ඇද වැටීමට තිබුණු අතර මෙවැනි නුදුටු ජයක් වාර්තා කිරීම පිටුපස ජාතික පිලේ පුහුණුකරුවකු හා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ උප සභාපතිවරයකු ජාතික කණ්ඩායමක කළමනාකරුවකු වන උසස් පොලිස් නිලධාරියකු සිටින බව lankasportsnews වෙත තොරතුරු වාර්තා වෙනවා.

    මේ හේතුවෙන් පොලිස් පිලේ ප්‍රබල ක්‍රීඩකයකු විස්සයි විස්ස ලෝක කුසලාන කණ්ඩායමේ ස්ථානයක් ලබා ගැනීමටද වාසනාවන්ත වී තිබෙනවා.


    මේ තරගය පිළිබඳ පොලිස් පිලේත් බ්ලූම්ෆීල්ඩ් පිලේත් ක්‍රීඩකයන් කිහිප දෙනකු අප වෙත ලබා දුන් තොරතුරු සහිත සවිස්තර වාර්තාවක් ඉදිරියේ ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.


    හැකි නම් මේ තරගය පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ක්‍රිකට් ආයතනයට අප අභියෝග කර සිටිනවා.


    මේ අතර අවසන් තරගයට නවක ක්‍රීඩකයන් කිහිප දෙනකු ඇතුළත් කර එම තරගය පැරදීමට එස්.එස්.සී ක්‍රීඩා සමාජයද කටයුතු කරමින් සිටින බවත් වාර්තා වෙනවා.


    ඔවුන් දැනටමත් බී කොටසේ ශූරයන් බවට පත්ව සිටින අතර තමන් සමග එරියස් එකක් තිබෙන මැලේ ක්‍රීඩා සමාජය පහතට දැමීම සඳහා ඔවුන් මෙසේ කටයුතු කරන බවත් දැන ගන්නට තිබෙනවා.


    විනිසුරු කමිටුවේ සභාපති එස් එස්.සී ක්‍රීඩා සමාජයේ ප්‍රබලයකු නිසා එස් එස්.සී.තරග වලදී විනිසුරන් පක්ෂග්‍රාහී තීරණ ලබා දුන් බවටද චෝදනාවක් තිබෙනවා.  

    එස්.එස්.සී / යුද හමුදා තරගයේ විනිසුරු තීරණ කැපී පෙනන අන්දමින් පක්ෂග්‍රාහී වූ බවත් lankasportsnews වෙත වාර්තා වෙනවා.


    මේ අතර ක්‍රිකට් උප සභාපති වරයකුගේ ක්‍රීඩා සමාජයේ තරගයකදී එහි පිතිකරුවකුට එරෙහිව තීන්දුවක් ලබා දුන් ඒ කොටසේ තරග විනිසුරුවරයකු ඊළඟ සතියේ බී කොටසේ තරගයකට යවා තිබුණු බවත් වාර්තා වෙනවා. වැටත් නියරත් ගොයම් කා ඇත්නම් පතෝල ක්‍රීඩා ඇමතිවරයාටද මේ බව කීමෙන් ඵලක් නොවන බව අප වෙත කරුණු දැක්වූ මැලේ ක්‍රීඩා සමාජ නිලධාරියකු පවසා සිටියා.

    No comments