• Breaking News

    ක්‍රිකට් දූෂිතයන්ට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව අද විභාගයට


    මෙරට නඩු ඉතිහාසයේ අතිශයින්ම තීරණාත්මක නඩුවක් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා. 
    මෙහිදී විභාගයට ගැනෙනුයේ  ෂම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් බලධාරීන්ට එරෙහිව හිටපු කීර්තිමත් උප සභාපතිවරයකු වන කේ. මතිවානන් විසින් චෝදනා එකසිය විසි ගණනකින් සමන්විතව ගොනු කරන ලද පෙත්සමයි.


     පිටු 1700 කින් යුතු මෙම පෙත්සම මගින් ක්‍රියාත්මක නොකෙරුණු  පසුගිය කෝප් කමිටු නිර්දේශ විගණකාධිපති වාර්තා හා  දූෂිත ගනුදෙනු රාශියක් හෙළිදරව් කිරීමත් අවසන් වරට පැවැති මහා සභා රැස්වීමේ නීත්‍යානුකූල භාවය අභියෝගයට ලක්  කිරීමත් විශේෂිතයි.


    මෙම පෙත්සම මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉදිරියට ගෙන යාම  සඳහා භාර ගෙන විත්ති පාර්ශ්වයෙන් පිළිතුරු ලබාගැනීමෙන් අනතුරුව අද ( 30 )  එය වැඩිදුරටත් විභාගයට ගැනෙයි.

    ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ඉදිරිපත් වන නීතිඥ යන්ට ගෙවනු ලබන්නේ ක්‍රිකට් ආයතනය මගින් වන අතර මෙම නඩුව  සඳහා ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ යන් වන රොමේෂ් ද සිල්වා, කුවේර ද සොයිසා,සංජය රාජරත්නම්, රොනල්ඩ් පෙරේරා, චන්ද්‍රික ජයසුන්දර, යන ජ්‍යේෂ්ඨ නීතිඥවරු ඉදිරිපත්ව සිටින අතර පෙත්සම් කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඉදිරිපත්ව සිටිනවා.


    මෙවැනිම නඩුවකදී 2018 හා 2021 දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් විශ්‍රාමික විනිසුරුවරයකුගේ සභාපතිත්වයෙන් යුත් ගෝඩා කමිටුවේ වාර්තා වක් අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීමට කටයුතු කළ අතර අද දක්වාම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පත් කෙරෙනු ලබන්නේ එම නඩු තීන්දුව  අනුවයි. අයිසීසියද එම නඩු වාර්තා පිළිගෙන ඒ අනුව කටයුතු කිරීමත් විශේෂත්වයක්.


    මාලිමා රජයේ ක්‍රීඩා ඇමතිවරයා ක්‍රිකට් දූෂණ දෙස පතෝලයකු මෙන් දෑස් පියාගෙන සිටියදී, මුළු පාර්ලිමේන්තුවම ෂම්මි ඇතුළු පිරිස එළවා දැමිය යුතු බව කියද්දීත්, අලිසබ්‍රි, කාංචන විජේසේකර, ටිරන් අලස්, මනුෂ නානායක්කාර කමිටු වාර්තාව මගින්ද, චිත්‍රසිරි කමිටු වාර්තාව මගින්ද  මොවුන් ඉවත් කළ යුතු බව කියද්දීත්, මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පවා දූෂිත ක්‍රිකට් පාලකයන් එලවා දැමිය යුතු බව කියා තිබියදීත්  රනිල් ,සාගල ,හරීන් වැන්නන්ගේ පමණක් නොව මාලිමා රජයේත් ඇතැම් ඇමතිවරුන්ගේ  ආශිර්වාදය යටතේ තව දුරටත් ක්‍රිකට් කාබාසිනියා කරමින් රැඳි සිටින ෂම්මි ඇතුළු නඩය එළවිය හැකි එකම විකල්පය වන ශ්‍රේෂ්ඨාධිකරණය වෙත සියලුම ක්‍රිකට් ලෝලීන් බලාපොරොත්තු දල්වා සිටිනු ඒකාන්තයි.


    සබැඳි පෙර ලිපි 

    ප්‍රධාන ක්‍රීඩා වල ප්‍රශ්න මග හැර මෝඩ චූන් ගන්නා ක්‍රීඩා ඇමතිවරයෙක්

    ක්‍රිකට් හොරුන් ගැන අල්ලස් කොමසාරිස් නිහඬ ඇයි?

    ෂම්මිලා රකින්න ක්‍රීඩා ඇමතිගෙන් නව සංශෝධනයක්


    No comments