• Breaking News

    කවුරුන් පත්වුණත් අපේ රටේ ක්‍රීඩාව ඉවරයි


    ලංකාවෙ හැම තැනම චොර වෙලා පීචං වෙලා තියෙද්දි ක්‍රීඩාවත් එහෙම නොවී තියෙන්න බැහැ. ක්‍රීඩාව ගැන නොදන්නා ක්‍රීඩා ඇමතිවරු පත් කරන රටක මාලිමා ආණ්ඩුවවත් ඒ දේ හරියට කරයි කියල සමස්ත ක්‍රීඩා ලෝලී ජනතාව හිතුවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාත් ක්‍රීඩා ඇමති ලෙස පත් කළේ වැස්සකටවත් දුවල නැති අයෙක්. ඒ නිසා මාලිමා රජයක් යටතේත් ලංකාවේ ක්‍රීඩාව තව තවත් වළ පල්ලට ගිහින්.


    ක්‍රීඩා සංගම් හැත්තෑගණනක් අමාත්‍යාංශයේ ලියාපදිංචිව ඇතත් මේ බොහෝ සංගම් නමට බෝඩ් කෑලි විතරයි.


    ඒ ඒ සංගම් වල මුල් පුටු වලට එන අය එළවගන්න කීයටවත් බැරි ගානට මුල් ඇදලා.


    ඒකත් රටේ දේශපාලනය වගේ වෙලා ඉවරයි. විදෙස් සංචාර, අමාත්‍යාංශයේ මුදල්, වෙනත් වාසි වෙනුවෙන් ක්‍රීඩා සංගම් වල බින්න බහින මේ නිලධාරීන් නිසා කවදාවත් අපේ රටේ ක්‍රීඩාව ඉදිරියට යන්නෙ නෑ. 


    පතෝල කරලක් වගේ ඉන්න වත්මන් ක්‍රීඩා ඇමති මොනව වුණත් එක හොඳ දෙයක් කළා.


    ඒ තමයි එක දිගට අවුරුදු 8 ක් මුල් පුටුවල හිටපු නිලධාරීන්ට නැවත ඒ පුටුවලට තරග කරන්න බැහැ කියල ගෙනාපු ව්‍යවස්ථා සංශෝධනය.


     අවුරුදු 8 කින් පස්සෙ ලොකු පුටුවකට තරග නොකළත් අවුරුදු 12 ක් වන තෙක් පහළ පුටුවකට එන්න පුළුවන් කියල ඒ සංශෝධනයට ඇතුළත් කිරීම නිසා ඔවුන්ට හැබැයි තව අවුරුදු 4ක් සංගමයේ රිංගා ගෙන ඉන්න හැකියාව තිබීම සංශෝධනයේ වුණු වැරැද්දක්.


    අපේ රටේ ක්‍රීඩාවෙ අරටුව බඳු ඔලිම්පික් සංගමයේ නිලවරණයත් සෙනසුරාදා පැවැත්වුණා.


    එහි සභාපති පුටුවට තරග කළ කිසි කෙනෙක් ගැන ඔවුන් නියෝජනය කළ ක්‍රීඩා සංගම් වල ක්‍රීඩකයන් තුළ පැහැදීමක් තිබුණෙ නැහැ.


    ඔවුන් නියෝජනය කළ සංගම් වල වාර්ෂිකව පැවැත්විය යුතු තරගාවලි පවා පවත්වන්න ඔවුන්ට නොහැකිව තිබියදී ඔලිම්පික් මහ පුටුවට තරග වැදීම විහිළුවක් වුණා. 


    මොවුන්ට විරුද්ධව තිබෙන චෝදනාත් බරපතලයි.


    තරග වැදුණු ප්‍රධාන පාර්ශ්ව දෙකින්ම චන්ද හිමි සංගම් වලටත් තෝරා ගත් කොන්දක් නැති දූෂිත මාධ්‍යවේදීන්ටත් හොඳට සළකලා තිබුණු බව වාර්තා වෙනවා.


    එක් අයෙක් චන්ද කැම්පේන් එක එක්තරා ප්‍රබල සමාජ ජාල ක්‍රියාකරුවකුට ලොකු මුදලකට ලබා දී තිබුණු බවත් වාර්තා වෙනවා.


    මෙහෙම වියදම් කරගෙන ඔලිම්පික් මුල් පුටුවකට මරා ගන්නේ ක්‍රීඩාවට තියෙන ආදරයට වඩා එහි තිබෙන ඩොලර් වලට ඇති ආදරය බව රහසක් නෙවෙයි.


    පාසල් මට්ටමේ පවා ක්‍රීඩාව දූෂිතයි. ක්‍රීඩා භාර ආචාර්‍යවරු, විදුහල්පති වරුන්ගේ සිට පාසල් ක්‍රීඩාව ශුද්ධ කළ යුතුයි.


    පාසල් ක්‍රීඩා සංගම් අරක් ගෙන ඉන්නෙත් වැඩි ප්‍රමාණයක් දූෂිත ගුරුවරුන්.


    විශේෂයෙන් පාසල් ක්‍රිකට් සංගමය අරක් ගෙන ඉන්නෙත් අති දූෂිතයන් පිරිසක්. 


    ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලැබෙන වැටුප් ,දීමනා , සංචාර සියල්ල ලබමින් මුදල් උපයා ගත හැකි මැච් කොමිෂනර් නමින් බිග් මැච් සඳහා තනතුරක්ද ඔවුන් නිර්මාණය කරගෙන තිබෙනවා.


    පාසලක ඉගැන්වීමකට වඩා කාලයක් පාසල් සංගමය තුළ වසර ගණනාවක් තනතුරෙන් තනතුරට මාරු වෙමින් සිටින එක් ගුරුවරයකු හැකි සෑම විටම තරග විනිසුරුවරයකු ලෙසද කටයුතු කරනවා.ක්‍රිකට් විනිසුරුවරුන් ලෙස කටයුතු කරන බොහෝ දෙනෙක් පාසල් ගුරුවරුන්.

    ඔවුන්ව තරග වලට අනුයුක්ත කරන්නේත් මේ දූෂිත ගුරුවරයායි.


    මෑතකදී පවත්වපු පාසල් ක්‍රිකට් සංගම් නිලවරණයද මෙතෙක් නොවූ පරිදි වෙනස් මුහුණුවරක් ගත්තා.


    ලේකම් ධූරයට තරග කළ එක් පාසල් ගුරුවරයකු අනික් අයට මඬ ගසමින් ලොකු ෆේස් බුක් කැම්පේන් එකක් කළා. 

    තමන් සුදනකු බවට පෙන්වුවද මොහු ක්‍රිකට් බලධාරීන්ට මුට්ටිය අල්ලමින් ක්‍රිකට් ආයතනයේ වෙබ් පිටුවේ ජාත්‍යන්තර තරග නොකඩවා විස්තර විචාරයේ යෙදුනේ ඒ පිළිබඳ ලක්ෂ සංඛ්‍යාත ක්‍රිකට් ලෝලීන්ගේ විවේචනයට හා උපහාසයට ලක්වෙමින්. 



    ඉතින් පාසල් ක්‍රිකට් හැදයිද? 


    අධ්‍යාපන අමාත්‍යාංශය වුණත් මේ තත්ත්වය තේරුම් ගෙන පාසල් ක්‍රීඩා සංගම් වල නිලධාරීන්ටත් ක්‍රීඩා අමාත්‍යාංශයේ නීතිය ක්‍රියාත්මක කොට මොවුන්ට පාසල් සංගමයක නිලධාරියකු ලෙස කටයුතු කළ හැකි කාලය සීමා කළ යුතුයි.


    ක්‍රීඩා අමාත්‍යාංශය වුණත් දූෂිත නිලධාරීන්ගේ රාජධානියක්. රටපුරා ඉන්නා ක්‍රීඩා නිලධාරීන් වැඩි හරියක් තම රාජකාරියට වඩා වෙනත් බිස්නස් කරන්නන්. අමාත්‍යාංශයේ ලොකු පුටුවක ඉන්න අයෙක් අවුරුදු ගණනක් මුළුල්ලේ මලල ක්‍රීඩා පුහුණුකරුවකු ලෙසත් කටයුතු කරන්නේ නීතියට පටහැනිවයි. ක්‍රීඩාව තුළ අරක් ගෙන සිරින ඉහඳ පණුවන් ඉවත් කරන තුරු අපේ රටේ ක්‍රීඩාව නැංවිය නොහැකියි.

    No comments