• Breaking News

    ක්‍රීඩකයන්ට දමන නීති පාලකයන්ටත් අදාල විය යුතුයි


    මෙතෙක් කල් ක්‍රීඩකයන්ව සුරතල් කරමින් ඔවුන්ගේ කළමනාකරුවන්ගේ මනදොල පිනවූ ශ්‍රී ලංකා ක්‍රිකට් හෙවත් ෂම්මි ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගම ලබන වසර සඳහා ක්‍රීඩක කොන්ත්‍රාත් අත්සන් කිරීමට පෙර හොඳ නීති මාලාවක් ඔවුන්ට දමා තිබෙනවා. දූෂිත පාලකයන් ක්‍රිකට් වැනසීමට පසුගිය කාලයේ කොතරම් ක්‍රියා මාර්ග ගත්තත් මෙම නීති පැනවීම ගැන නම් ඔවුන් පැසසිය යුතුයි
    .


    මෙම නීතිමාලාව අනුව ක්‍රීඩකයන්ට කරාබු පවා පැළඳීම තහනම්. සෙරෙප්පු කොට කලිසම් හැඳ ක්‍රිකට් මූලස්ථානයට ඇතුළත් වන්නත් තහනම්.

    වෙනකක් තබා තරගාවලියක් අතර තුර තම බිරිඳ හැරුණු කොට වෙනත් අයකු සමග ලිංගිකව හැසිරෙන්නත් තහනම්.


    ඇත්තටම මේවා මුල ඉඳන් කළ යුතුව තිබුණු දේවල්.


    නැත්තම් ධනිෂ්ක ගුණතිලක වගේ ක්‍රීඩකයන් රටට අහිමි නොවන්න තිබුණා.


    ඒත් ක්‍රීඩක කළමනාකරුවන්ටත් මේ එක්කම නීති පනවන්න තිබුණු බවයි අපේ මතය වන්නේ.


    මේ බොහෝ ක්‍රීඩකයන් නරක් කරන්නේත් සියල්ලට වඩා ඔවුන් මුදලට කෑදරයන් කරවන්නේත් අතලොස්සක් වන ක්‍රීඩක කළමනාකරුවනුයි.


    එක් කළමනාකරුවකුට ක්‍රීඩකයන් දහ දෙනෙකුට වඩා තබා ගත නොහැකි බවටත් ක්‍රීඩකයන් විකුණා ඔවුන් ලබන 20% ක කොමිස් මුදලින් ගණනක් ක්‍රීඩක සුබ සාධක අරමුදලකට යෙදවිය යුතු බවටත් නීතියක් ගෙන ආ යුතුයි.


    ක්‍රීඩක විනය ආරක්ෂා කර ගැනීමට ඔවුන් පුහුණුවට යොදවන පුහුණුකරුවන්ගේද විනය ගැන තදින් සිටීමත් වැදගත්.


    මේ බොහෝ පුහුණුකරුවන් ඉඩක් ලද ඕනෑම මොහොතක ක්‍රීඩකයන් සමග බෝතලේ අඩිය පෙනෙන තෙක් බීමටත් වෙනත් වැඩ වලට ඔවුන් පෙළඹවීමටත් දක්ෂයන්.


    ක්‍රීඩා කළ අවදියේදීද කිසිදු විනයක් නොමැති ක්‍රීඩකයකු ලෝක කුසලාන සමයේ සනත්ගේ උවමනාවට කණ්ඩායමට ගෙනවිත් තිබුණා.


    ක්‍රීඩකයන්ට අනවශ්‍ය ලිංගික ක්‍රියා තහනම් කරද්දී නිළියන් සමග කෝලම් නටන ක්‍රිකට් බලධාරින්ද ආදර්ශවත් විය යුතුයි.


    ක්‍රීඩකයන්ට නීති දමන විධායක නිලධාරියකුට විරුද්ධව ක්‍රිකට් ආයතනයේ සේවය කළ ලේකම් වරියක දැමූ ලිංගික අල්ලස් නඩුවක් තවමත් විභාග වෙමින් පවතිනවා. හිටපු ක්‍රීඩකයකුටවත් තරග ප්‍රවේශ පත්‍රයක් නොලැබෙද්දී හැත්තෑව පැන්න උප සභාපතිවරයකු තම කුටිය තුළ තරග නරඹන්නේ නිළියන් පිරිවරාගෙනයි.

    No comments