• Breaking News

    විගණකාධිපති කියන NOC හැන්ද වෙනස්වූ හැටි

    ජාතික ඔලිම්පික් කමිටු ලේකම්වරයා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හා විගණකාධිපති දෙපාර්තමේන්තුව එකවර ගොනාට අන්දවා තිබෙනවා. ඒ ජාතික සංගම්වලට කොලේ වසමිනුයි. 2012 ගිණුම් වාර්ථාව විගණනය කර විගණකාධිපතිවරයා දැනුම් දී ඇත්තේ රුපියල් මිලියන 3.5 ක් ටෙනිස් හා ගොල්ෆ් සංගම් සදහා සිය තනි හිතුමතේ ලබා දී ඇති අතර ඔස්ට්‍රේලියානු මනෝ වෛද්‍ය උපදේශකයකු රුපියල් මිලියන 3 ක් ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත්තේ කිසිදු ගිවිසුමක් නොමැතිව බවයි. එමෙන්ම ඊට කිසිදු එකගතාවක්ද නැහැ. ජාතික ඔලිම්පික් කමිටුව සිය බූදලය ලෙස සිතා කටයුතු කර ඇති ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා මෙලෙස තම හිතුමතේ ජාතික ඔලිම්පික් කමිටුවේ මුදල් ලබා දී තිබෙනවා.

    කුමන හෝ ක්‍රීඩාවකට මුදල් ලැබීම හොද කටයුත්තක් ලෙස ඔහු ඇතුලු ඔහුගේ හිතවතුන් පෙන්වා රටම නොමග යැවිය හැකියි. රටේ මුදල් හදල් ඇති පොහොසතුන්ගේ ක්‍රීඩාවන්ට මෙලෙස මුදල් ලබා දුන්නත් බහුතරයගේ දුවා දරුවන් ක්‍රීඩා කරන කිසිදු ක්‍රීඩාවකට සත පහක මුදලක් ලබා නොදීම කැපී පෙනෙනවා. මේ වත්මන් ජාතික ඔලිම්පික් කමිටු පාලනය පෙරලා දැමිය යුත්තේ රටේ බහුතර ජනතාව වෙනුවෙනුයි. යලිත් ඔවුන් අතටම බලය හිමිවුවහොත් මේ තත්වය වඩා නරක වනු ඇති. ඒ ඔවුන්ගේ පාර්ශ්වයෙන් සභාපති අපේක්ෂක සුභ්‍රමනියම් යනු ටෙනිස් සංගමයේ හිටපු සභාපති වීම හේතුවෙනුයි. එමෙන්ම රටේ ක්‍රීඩාව ලෙස ඔවුන් සංවර්ධනය කරනු ඇත්තේ ඉංග්‍රීසි කථාකළ හැකි පොහොසතුන්ගේ දරුවන් බහුතරය ක්‍රීඩා කරන ටෙනිස් ඇතුලු ක්‍රීඩා කිහිපයක් පමණයි. ජාතික සංගම් සදහා දැන් නිදහස් සටන මෙන් විශාල වගකීමක් තිබෙනවා. ඒ හිතවතුන්ට සීමාවූ ක්‍රීඩා සංවර්ධනයක් ඉදිරියේදී සිදු නොවීමට හා දූෂණයෙන් තොර ක්‍රීඩාවක් රටේ ස්ථාපිත වීමටයි. කෙසේ වෙතත් වත්මන් පාලකයින් ගොඩ වැඩිකරගැනීමට පමණක් කුඩා සංගම් යැයි කියා ගන්නා සංගම් කිහිපයක් පමණක් ඡන්දය පිණිස ලංකර ගැනීම කණගාටුවට කරුණක්. එම සංගම් මතක තබා ගත යුත්තේ උක් දඩු හපය වූ පසු වීසී කිරීමට වත්මන් පාලකයින් කල් යල් බලමින් සිටින බවයි.
    සාක්ෂි සහිතව මෙම වාර්ථා කිරීම රටේ ක්‍රීඩාව වෙනුවෙන් සිටින ජාතික ක්‍රීඩා සංගම් ඇස් ඇරවීමටයි. අද ඔවුන් ඉවත බැලුවොත් විනාශ වන්නේ සමස්ථ ක්‍රීඩාවයි. ඔබේ ජාතික ක්‍රීඩා සංගමයේ නිලධාරීන් දැනුවත් කර ඔවුන්ට අවධියෙන් සිටින්නැයි කියන්න.

    No comments