• Breaking News

    බිල් නැති මිලියන 23 ක වියදම්

    ජාතික ඔලිම්පික් කමිටු ලේකම්වරයා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හා විගණකාධිපති දෙපාර්තමේන්තුව එකවර ගොනාට අන්දවා තිබෙනවා. ඒ ජාතික සංගම්වලට කොලේ වසමිනුයි. ගිණුම් වාර්ථාව විගණනය කර විගණකාධිපතිවරයා දැනුම් දී ඇත්තේ රුපියල් මිලියන 23 ක වියදම් සදහා සාක්ෂි නොමැති බවයි. වියදම් කළ කරුණ ඇතුලත් වුවත් එය වියදම් වූ බව තහවුරු කිරීමට කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කර නැහැ. මේ අනුව ඇතැම් වියදම් සම හරක්ගේ සාක්කු පුරවන්නට ද ඇති. එය බැරවී ඇත්තේ ප්‍රධාන කරුණ වෙනුවෙන් බව දක්වීමෙන් පමණක් සියලු දෙනාට කොලේ වැසීමට ඔවුන් සූක්ෂම වී තිබෙනවා. පුංචි දරුවන් පවා දන්නා කරුණ වන්නේ බස් රථයක ගමන් කළත් ටිකට් එකක් දෙන බවයි. මේ හේතුවෙන් ත්‍රීවිල්වල ගමන් ගත් විට ටිකට් ලැබෙන්නේ නැහැ. එවිට තමන්ට ඕනෑ දිබ්බාගයක ගොස් කොටු පැණ නියමිත ගමනාන්තය ත්‍රීවිල් එකේ පැමිණි බව පැවසිය හැකියි. එවිට ටිකට් හිමි නොවන නමුත් සාක්කුවද සියල්ලන්ගේ ඇස් වසා පිරී අවසන්. ජාතික ඔලිම්පික් කමිටුව සිය බූදලය ලෙස සිතා කටයුතු කර ඇති ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාට මෙලෙස තම හිතුමතේ ජාතික ඔලිම්පික් කමිටුවේ මුදල් වැය කිරීම කජ්ජක් නොවන්නට ඇති.
    කෙසේ වෙතත් මෙම වියදම් මුදල් ගසා කෑමක් නොවන බව ලේකම්වරයා පැවසනවා. අපට ඇති ගැටළුව වන්නේ එසේනම් වියදම් පිලිබද සාක්ෂි ඉදිරිපත් කිරීමට බැරි ඇයිද යන්නයි. කන්දක් ගිල්ල එකාට අග්ගලා කජ්ජක් නොවේ යන්න එවිට සිහි වන්නේ ඇයිද යන්න තවමත් අපට තේරෙන්නේ නැහැ. ජාතික ඔලිම්පික් කමිටු ලේකම්තුමනි දැන්වත් වියදම් සදහා සාක්ෂි ඉදිරිපත් කරන්න. ජාතික සංගම් සදහා දැන් නිදහස් සටන මෙන් විශාල වගකීමක් තිබෙනවා. ඒ හිතවතුන්ට සීමාවූ ක්‍රීඩා සංවර්ධනයක් ඉදිරියේදී සිදු නොවීමට හා දූෂණයෙන් තොර ක්‍රීඩාවක් රටේ ස්ථාපිත වීමටයි. කෙසේ වෙතත් වත්මන් පාලකයින් ගොඩ වැඩිකරගැනීමට පමණක් කුඩා සංගම් යැයි කියා ගන්නා සංගම් කිහිපයක් පමණක් ඡන්දය පිණිස ලංකර ගැනීම කණගාටුවට කරුණක්. එම සංගම් මතක තබා ගත යුත්තේ උක් දඩු හපය වූ පසු වීසී කිරීමට වත්මන් පාලකයින් කල් යල් බලමින් සිටින බවයි.

    සාක්ෂි සහිතව මෙම වාර්ථා කිරීම රටේ ක්‍රීඩාව වෙනුවෙන් සිටින ජාතික ක්‍රීඩා සංගම් ඇස් ඇරවීමටයි. අද ඔවුන් ඉවත බැලුවොත් විනාශ වන්නේ සමස්ථ ක්‍රීඩාවයි. ක්‍රීඩක ක්‍රීඩිකාවනි ඔබේ ජාතික ක්‍රීඩා සංගමයේ නිලධාරීන් දැනුවත් කර ඔවුන්ට අවධියෙන් සිටින්නැයි කියන්න.

    No comments