• Breaking News

    ප්‍රමෝද්‍ය තේරීම් කමිටු සභාපති වීමේ අභ්‍යන්තර කතාව


    මාලිමා ආණ්ඩුව සෑම තැනකම පුරප්පාඩු පුරවන්නේත් පත් කිරීම් කරන්නේත් ජේවීපී කාරයන්ගෙන් බවට උදාහරණයක් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහව පත් කිරීමෙන් තව දුරටත් සනාථ වෙනවා.


    ප්‍රමෝද්‍ය කියන්නේ ඔරිජිනල් ජේවීපී කාරයෙක් නොවුණත් පහුගිය ජනාධිපතිවරණයට කලින් ජේවීපී වුණු මහින්ද රාජපක්ෂ වාදියෙක්. ඒත් ඊට කලින් මාතර සංවිධායක ලෙස රනිල් වික්‍රමසිංහ වෙතින් පත්වීමක් ලබපු යූඑන්පී කාරයෙක්.


    මාතර යූඑන්පී සංවිධායක ලෙස කටයුතු කරද්දී මහින්දගේ වේදිකාවට නැගීම නිසා ඔහුට ලොතරැයියක් මුද්‍රණය කරන්න අවස්ථාව තෑගි ලෙස රාජපක්ෂලාගෙන් ලැබුණා.


    ලෝක කුසලාන තරගාවලියක් කටමුල තිබියදී සාමාන්‍යයෙන් තේරීම් කමිටුවක් වෙනස් නොකරන නමුත් පතෝල කුමාර ක්‍රීඩා ඇමතිවරයාගේ දැඩි උවමනාවට ජේවීපී පත් කිරීමක් ලෙස ප්‍රමෝද්‍ය නැවතත් තේරීම් කමිටු මුල් පුටුවට ගෙන ඒම සිදුව තිබෙනවා.


    ප්‍රමෝද්‍ය මීට දෙවසරකට පෙර තේරීම් කමිටු සභාපති හැටියට හිඳ ඉවත් කෙරුණේ පහුගිය ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල අන්ත පරාජයක් ලබා ආපහු පැමිණීමත් සමගයි. ඔහුත් එම සංචාරයට සහභාගි වී එන ගමන් ගුවන් තොටුපලේදී කීවේ මෙම පරාජයන් පිටුපස කුමන්ත්‍රණයක් තිබූ බවත් දින දෙකකින් එය හෙළිදරව් කරන බවත්.


    ඒත් මේ දක්වා අවුරුදු දෙකක් ගත වුණත් මේ දක්වා එය හෙළිදරව් කරන්න ඔහු අසමත් වුණා.


    මෙවැනි බොරු කාරයෙක් නැවත වරක් හිටපු තැනටම ගෙන්වීම මාලිමා පත් කිරීම් වල ස්වභාවයට හොඳම උදාහරණයක්.


    කොහොම වුණත් සනත් ජයසූරියට අවශ්‍ය පරිදි තේරීම් කළ හිටපු ‍රූකඩ තේරීම් කමිටු සභාපති උපුල් තරංගට වඩා නම් තේරීම් වල පිළිවෙලක් ඇති කරන්න ප්‍රමෝද්‍යට හැකියාව තිබෙනවා. 


    උපුල්ගේ ගජ මිතුරන් වූ ක්‍රීඩක කළමනාකරුවන්ව පවා ප්‍රමෝද්‍ය ගණන් නොගන්නා අයකු බැවින් ප්‍රමෝද්‍ය තේරීම් වලදී ඔවුන්ගේ අතකොළුවකු නොවන බවත් සිකුරුයි.


    තනිකරම දේශපාලන පත් වීමක් වුණත් ක්‍රීඩකයන්ගේ උදරය නෙරා යාමට ඉඩ සැලැස්වූ උපුල්ලාට වඩා ක්‍රීඩකයන්ට තම ෆිට්නස් හොඳින් තියා ගන්නත් ප්‍රමෝද්‍ය කටයුතු කරන බවටත් ඔහු සනත් ජයසූරියට හෝ සෝෂල් මීඩියා ඔස්තාර්ලාට අවශ්‍ය දේ නොකරන බවටත් යම් විශ්වාසයක් තැබිය හැකියි. කොහොම වුණත් මේ පත්වීම ගත් වහාම මාතර ක්‍රීඩා සමාජයේ සභාපති කමින් ඉල්ලා අස්වීමට ප්‍රමෝද්‍යට සිදු වෙනවා. ඒ කොන්ෆ්ලිට් ඔෆ් ඉන්ටරස්ට් වන නිසා.



    No comments