• Breaking News

    ආපදා අරමුදලට කෝටි 30 ක් දුන්නත් ශ්‍රී ලංකා ක්‍රිකට් බිලියන 2 ක් ණයයි


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න යන බවට ජනාධිපතිවරයාට පොරොන්දු දී සිටියත් කරන ලද අනවශ්‍ය වියදම් හේතුවෙන් මේ වන විට බිලියන දෙකකටත් වඩා ණය වී ඇතැයි lankasportsnews වෙත වාර්තා වෙනවා.


    මෙලෙස ඔවුන් මූල්‍ය කළමනාකරණය අතින් අතිශයින් දුර්වල මට්ටමකට වැටී ඇත්තේ කොමිස් ගැසීමේ අරමුණින් කරන ලද අනවශ්‍ය වියදම් නිසා බවයි වාර්තා වෙන්නේ.


    ක්‍රිකට් ආයතනය ඇතුළත කර ඇති වෙනස් කිරීම් , අනවශ්‍ය සේවක බඳවා ගැනීම්, ලංකා ප්‍රිමියර් ලීගයෙන් ලබා ඇති පාඩුව, නීතිඥ ගාස්තු සඳහා වැය කර ඇති කෝටි ගණනක මුදල, විවිධ අවස්ථාවල පාසල් හා ක්‍රීඩා සමාජ වලට පාවහන් හා ක්‍රිකට් භාණ්ඩ ලබා දීමට ( සැපයුම්කරුවන්ගෙන් කොම්ස් ලබා ගැනීමට ) ක්‍රීඩා අමාත්‍ය වරුන් පිනවීම සඳහා වෙනත් ක්‍රීඩා වලට ලබා දුන් මුදල්, මිළ අධික වාහන ගෙන්වීමට කරන ලද වියදම් හා කඩේ යන තෝරා ගත් මාධ්‍යවේදීන් පිරිසකට මාසික දීමනාවක් හා සංචාර වලට මුදල් ලබා දීම ( මෙම ලැයිස්තුව නුදුරේදී හෙළිදරව් කරන්නට නියමිතයි.) හේතුවෙන් මෙසේ ණය වී ඇති බව වාර්තා වෙනවා.


    මේ අතර කාන්තා ලෝක කුසලාන තරගාවලියට අයිසීසි යෙන් ලැබුණු මුදල් පවා තම ක්‍රීඩා සමාජ වල ඉදිකිරීම් වෙනුවෙන් වැය කර ඇති බවත් කියවෙනවා.


     හොරුන් ඇල්ලීමට පැමිණි මාලිමා රජයද ක්‍රිකට් හොරුන් රැකීමේ වැඩ පිළිවෙලක් අනුගමනය කරමින් මොවුන් කෝප් කමිටුවට කැඳවීමත් පමා කරමින් සිටින අතර ක්‍රීඩා ඇමතිවරයා විසින් මෙතරම් දූෂිත ක්‍රිකට් ෂම්මි හා පාපන්දු ජැස්වර් සමග ඩීල් දමමින් සිටින බවත් lankasportsnews පවසන්නේ වගකීමෙන් යුතුවයි. මේ සඳහා සාක්ෂිත් අප සතුව තිබෙන අතර ඉදිරියේදී කෝප් කමිටුවට හා උසාවි කටයුත්තකදී ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.


    තත්වය මෙසේ තිබියදීත් ක්‍රිකට් ආයතනය විසින් රජයේ ආපදා අරමුදලට රුපියල් මිලියන 300 ක් පරිත්‍යාග කළ බව ඉන්දීය වෙබ් අඩවියක් විසින් වාර්තා කර තිබුණා. 


    ඔවුන් මෙවැනි පරිත්‍යාගයක් සිදු කිරීම මවිතයට කරුණක් වන්නේ මේ සති අන්තයේ ආරම්භ වන අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියට සහභාගි වන ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ වලට සත පහක්වත් ඒ සඳහා ගෙවන්නට අසමත්ව තිබියදී වීමයි. දෙසැම්බර් මස එහි සේවකයන්ට සාමාන්‍යයෙන් ගෙවනු ලබන බෝනස් මුදලද මෙවර නොගෙවනු ඇතැයි එහි සේවකයෙක් අපට පැවසුවා.


    No comments