Tuesday, August 11, 2026

ආරාධනා අනාගත් 2025 ක්‍රිකට් සම්මාන උළෙල


පසුගිය සතියේ පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් 2025 සම්මාන රාත්‍රිය සඳහා ආරාධිතයන්ගේ ලැයිස්තුව සකස් කළ ආකාරය මතබේදයට තුඩු දී ඇතැයි වාර්තා වෙනවා.


 ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රීඩකයන්ට ආරාධනා කිරීමේදී ඇතැම් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ට ආරාධනා නොකිරීමත් ක්‍රිකට් තෝරා ගත් පිරිසකට පමණක් ආරාධනා කිරීමත් මෙහිදී කැපී පෙනුණු බව ක්‍රිකට් ආයතනය තුළම කතා බහට ලක්ව තිබෙනවා.


විහිළු සහගතම සිද්ධිය වී ඇත්තේ මෙවර සම්මාන සඳහා සුදුස්සන් තෝරා ගැනීම සිදු කළ ජූරිය වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රමුඛ හිටපු තේරීම් කමිටුවට හෝ මේ සඳහා ආරාධනා කර නොතිබීමයි.


එක් එක් අංශ සඳහා පිරිමි හා කාන්තා සම්මාන රැසක් පිරි නැමුණු අතර ඒවා තෝරා ගැනීම සඳහා හිටපු තේරීම් කමිටු නිලධාරීන් දින පහකටත් වැඩි කාලයක් ගත කර විශේෂ මහන්සියක් දරා තිබියදී ඔවුන්ට ආරාධනා නොකර කපිල විජේගුණවර්ධන ප්‍රමුඛ වත්මන් තේරීම් කමිටුවේ සාමාජිකයන් සම්මාන පිරිනැමීම සඳහා වේදිකාවට කැ‍ඳවා තිබීම විහිළුවක් බවට පත්ව තිබුණා.


ව්නෝදන් ජෝන් හිටපු තේරීම් කමිටු නිලධාරියාටත් සම්මානයක් දීමට නම් කර තිබුණත් ඔහුට ආරාධනා පත්‍රයක් හෝ යවා නැතැයි වාර්තා වෙනවා.


ක්‍රිකට් යාන්ත්‍රණයේ අත්‍යවශ්‍ය පුද්ගලයන් නොසළකා හැර ක්‍රිකට් ආයතනයේම ඇතැම් සේවකයන්ට ආරාධනා කිරීමත් ක්‍රිකට් ආයතනයේ මුදල් කෝටි ගණනින් උපයන කොන්ත්‍රාත් කරුවන්ට පවා ආරාධනා කර තිබීමත් විශේෂ සිද්ධියක්.


මේ අතර සම්මාන පිරිනැමීම අවසන් වීමත් සමග උත්සවයේ තවත් අංග ඉතිරිව තිබියදී සම්මාන ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නැගිට යාම නිසා අවසන් නැටුම් ගැයුම් අංග පවත්වා ඇත්තේ හිස් පුටු වලට බවත් වාර්තා වෙනවා.


මෙසේ ඉක්මනින් පිටත්ව ගියේ මන්දැයි විමසූ විට එක් ක්‍රීඩකයකු පැවසුවේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයක් පිහිටුවීමේ රැස්වීමක් එදිනම යොදා තිබුණු නිසා බවයි.


මෙම සම්මාන උළෙල සඳහා අනුග්‍රහය දැක්වීමට සිටි හෝම් ලෑන්ඩ් ආයතනය අවසන් මොහොතේ කර ඇර සිටීම නිසා ඩයලොග් සමාගම මෙහි අනුග්‍රාහකයන් ලෙස කටයුතු කළ අතර ආරාධිතයන්ගෙන් වැඩි පිරිසක් ඔවුන්ගේ ආයතනයේ අය හා ඔවුන්ගේ පාර්භෝගිකයන් වූ බවත් වාර්තා වෙනවා. මේ අනුව වත්මන් ක්‍රිකට් පරිවර්තන කමිටුවේ නොහැකියාව ප්‍රදර්ශනය කළ තවත් සම්මාන උළෙලක් මෙලෙස නිමාවට පත්ව තිබෙනවා.



සබැඳි පෙර ලිපිය

පරිවර්තන කමිටුවත් අනිල් මොහාන්ගේ සාක්කුවේද?



No comments:

Post a Comment