ෂම්මි ඇතුළු විධායක සභාවට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව 17 දා
වත්මන් ක්‍රිකට් පරිපාලකයන්ට එරෙහිව හිටපු උප සභාපති වරයකු වන කේ. මතිවානන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම අඟහරුවාදා ( 17 ) විභාගයට ගැනීමට නියමිතයි. මෙම පෙත්සම මගින් සාක්ෂි සහිතව ෂම්මි සිල්වා ඇතුළු විධායක සභාව විසින් පසුගිය කාලයේ ගන්නා ලද වැරදි තීරණ, දූෂණ, ඔඩිටර් ජෙනරාල් වරයා විසින් මතු කර තිබූ මූල්‍ය අක්‍රමිකතා,අත්තනෝමතික ලෙස පැවැත්වූ නිලවරණය, ඉදිකිරීම් අක්‍රමිකතා ඇතුළු චෝදනා එකසිය තිස් ගණනක් පෙන්වා දී ඇති බව වාර්තා වෙනවා.මෙම චෝදනා පිටු එක්දහස් හත්සීයකින් සමන්විත බවත් කියවෙනවා.
මීට පෙර අභියාචනාධිකරණය මගින් ක්‍රිකට් ආයතනය සම්බන්ධ නඩු විභාග කොට ඇතත් ඔවුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කොට ඇති ප්‍රථම අවස්ථාව මෙය බව කියවෙනවා.
මීට වසර කිහිපයකට පෙර දූෂිත ඉන්දීය ක්‍රිකට් බලධාරින්ට එරෙහිව පැවැති නඩුවකදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත නව ව්‍යවස්ථාවක් සහිත පාලක මඬුල්ලක් පත් කරන්නට යෙදුණා. අදටත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කරන්නේ එදා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පත් කළ ලෝඩා කමිටුවේ නිර්දේශ අනුව ක්‍රියාත්මක වන ව්‍යවස්ථාවක් අනුවයි.
මේ වන විට ලොව ධනවත්ම හා ප්‍රබලතම ක්‍රිකට් පාලක මණ්ඩලය ඇත්තේ ඉන්දියාවෙයි.
අයිසීසියද එවකට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය පිළිගනිමින් හා එයට ගරු කරමින් ඉන්දියාවට එරෙහිව කිසිදු තහනමක් නොපනවන්නට කටයුතු කළා.
පාර්ලිමේන්තුවේ සියලු දෙනාම ඒකමතිකව ක්‍රිකට් පරිපාලනය වෙනස් කළ යුතු බවට තීරණයක් ගනු ලැබුවත් එම තීරණය ක්‍රියාත්මක නොකළ රනිල් වික්‍රමසිංහ රජය ඒ වෙනුවට ක්‍රීඩා අමාත්‍යවරයා ඇමති ධූරයෙන් පහ කරනු ලැබුවා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නඩුව සඳහා පැමිණිලිකාර මතිවානන් පාර්ශ්වයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙනී සිටින අතර චූදිත ක්‍රිකට් පරිපාලකයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, කුවේර ද සොයිසා ඇතුළු ජනාධිපති නීතිඥ යන් පිරිසක් පෙනී සිටිනවා. මේ අතර තම සේවා කාලයට පෙර ඉවත් කිරීම සම්බන්ධව වන්දි ලෙස ඩොලර් ලක්ෂ පනහක් ඉල්ලා ක්‍රිකට් පරිපාලනයට එරෙහිව හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහද මීට දින තුනකට පෙර ස්විට්සර්ලන්තයේ නඩුවක් පවරනු ලැබුවා.

No comments