Tuesday, June 24, 2025

අල්ලස් විමර්ශනයේ හා කෝප්කමිටු ලොක්කන් දෙදෙනකුගේ දියණියන් දෙන්නෙකුට ක්‍රිකට් ආයතනයේ රැකියා දීලා


ලංකාවේ ක්‍රිකට් ආයතනය කියන්නේ තමන්ට අල්ලා ගන්න ඕනෙ නම් ඕනෙම කෙනෙකුට හෝ ඔවුන්ගේ දරුවකුට රැකියාවක් ලබා දෙන ආයතනයක්. ඩීඅයිජී කාලයේ දේශබන්දු තෙන්නකෝන්ට   පවා පඩියක් ලබා අනීතික රැකියාවක් ඔවුන් ලබා දුන්නෙත් මේ නිසයි.


ක්‍රීඩා මාධ්‍යවේදීන් පිරිසකට  අත යටින් මාසික වැටුපක් ලබා දෙන්නෙත් මේ හේතුව නිසයි. මේ පිරිසට විදෙස් සංචාර සඳහා ගුවන් ප්‍රවේශ  පත්‍ර හා ඩොලර් ලබා දීමත් කාලයක් මුළුල්ලේ සිදු කෙරෙන දෙයක්.


ඉන් දෙදෙනෙකුට පසුගියදා පැවැති සම්මාන ප්‍රදානෝත්සවයේදී  ජීවිත කාලයටම එක් වරක් පුදන සම්මානයක්ද ලබා දුන්නා.


ඒ සඳහා ආරාධනා කළේත් ඔවුන්ට කඩේ යන මාධ්‍යවේදින්ට විතරයි.


මේ සියල්ල ෂම්මි වෙනුවෙන් ඉටු කර දෙන්නේ භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්දයි.


ඩීල් වලට ඔස්තාර් කෙනෙක් වන ඔහු හිටපු ක්‍රීඩා ඇමතිවරුන් මෙන්ම  මාලිමා රජයේ වත්මන් ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ , සුනිල් හඳුනෙත්ති, වසන්ත සමරසිංහ යන අයත් අල්ලා ගැනීමේ ඩීල් එක දැම්මෙත් මොහුයි.


ඔහුගේ අලුත්ම ඩීල් එක වී ඇත්තේ සීඅයිඩියේ අල්ලස් මෙහෙයුම් අංශයේ උසස් නිලධාරියකු හා කෝප් කමිටුවේ වගකිය යුතු නිලධාරියෙක් බව lankasportsnews වෙත වාර්තා වෙනවා. 


ඔවුන් අල්ලා ගැනීමේ ඩීල් එක වී ඇත්තේ ඔවුන්ගේ දියණියන් දෙදෙනකුට හොඳ  වැටුපක් සහිත රැකියාවක් ක්‍රිකට් ආයතනයේ ලබා දීමයි.


මේ එක් අයකු සුජීවගේ අංශයේම රැකියාවකට අරන් තිබෙන බව අපට කීවේ ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරියෙක්.


මෙවැනි ඩීල් නුරුස්සන මේ නිලධාරියා වැඩි දුරටත් කීවේ මේ යන ආකාරයට ක්‍රිකට් ආයතනය බංකොලොත් වන දිනය  වැඩි ඈතක නොවන බවයි.


විවිධ ව්‍යාපෘති නිර්මාණය කොට ඒවා සඳහා මිලියන ගණන් වියදම් වාර්තා සකස් කොට ඒවා වලින් ගසා කන මුදල් ලොකු පුටු හොබවන කිහිප දෙනකු අතර බෙදා ගැනීම සිරිතක් වී ඇති බව කියූ ඔහු මේ නිලධාරීන් පාවිච්චි කරන අධි සුඛෝපභෝගී වාහන මිළදී ගෙන ඇති හෝටල්, නිවාස හා ඉඩම් වලින් සොයා ගත හැකි බවත් කී මෙම විධායක කමිටු නිලධාරියා ඉදිරියේදී අල්ලස් කොමිසමෙන් සිදු විය හැකි විමර්ශන වලින් බේරීමට මෙසේ සීඅයිඩියේ අල්ලස් විමර්ෂන අංශයේ උසස් නිලධාරියාගේ දියණියට රැකියාවක් ලබා දීමට හේතුව බවත් පැවසුවා.


මෙවැනි අසික්කිත ක්‍රියා බලා සිටීමට නොහැකි නිසා තමන් නුදුරේදීම ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් එසේ ඉල්ලා අස්වන දිනයේ මාධ්‍ය හමුවක් පවත්වා සියල්ල හෙළි කරන බවත් අප සමග කියා සිටියා. 


මීට පෙර අවස්ථා කිහිපයකදීම රජයේ විගණන දෙපාර්තමේන්තුවෙන් ක්‍රිකට් ආයතනයේ විගණන හා වෝහාරික විගණන වෙනුවෙන් පැමිණෙන නිලධාරීන් පවා මිලියන ගණන් අල්ලස් දී අල්ලා ගත් බවත් මෙම විධායක කමිටු නිලධාරියා අප සමග කියා සිටියා. මේ සියල්ලේ මාස්ටර් මයින්ඩ් මහ මොළකරු සුජීව  බවත් ඔහු පැවසුවා.



No comments:

Post a Comment