• Breaking News

    ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ විමර්ශන ඒකකය බුදි - Exclusive Exposed


    කන්න ඕන උනාම කබරගොයත් තලගොයා කර ගැනීමට ලංකාවේ මිනිස්සු උපන් හපන්කම් දක්වනවා. ක්‍රීඩා අමාත්‍යාංශයත් මේ වන විට එහි කෙළ පැමිණ අවසන්. පසුගිය මහ මැතිවරණයට පෙර ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රධාන මාතෘකාව වූයේ 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය මුදලට පාවාදීමයි. ඒ වන විට ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ පනත යටතේ පිහිටවූ වෙනම විශේෂ විමර්ශන ඒකකයක්ද පැවතියා. ඔවුන් මැතිවරණයට පෙර මාධ්‍ය සංදර්ශන පවත්වමින් මෙම ප්‍රකාශය ගැන පුවත් මැව්වා. එහෙත් මේ වන විට ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය අකර්මණ්‍ය වී අවසන්. ඒ පිලිබද කතාව මෙතැන් සිට දිග හැරනවා
    .


    ශ්‍රී ලංකාව ලෝකයේ දූෂිතම ක්‍රිකට් ක්‍රීඩා කරන රට ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කළ පසු ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළේ ඇටි කෙහෙල් කෑ රිලවෙක් ලෙසයි. 2014 වන විට සකස්කර අවසන් වූ ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර නොගැනීම මෙම හෙනය පාත් වීමට හේතු වුණා. ඊට 2015 වසරේ සිට පාර්ලිමේන්තු නියෝජ්‍ය කතානායක හා ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල හේතුවූ බව කියවුණා. මේ අනුවයි බාලගිරි දෝසයට ලක්ව වසර වසර හතරහමාරක් පාර්ලිමේන්තුවේ පනත පුස් කෑවේ. අනතුරුව 2019 වසරේදී ක්‍රීඩා අමාත්‍ය වූ හරීන් ප්‍රනාන්දු මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත්තා. ඒ යහපාලන රජයේ දීඝය නිමාවීමෙන් රටට ඇතිවූ යහපත්ම ප්‍රතිඵලය බවට පත් වෙමිනුයි. එම පනතට අනුව 2020-02-11 වනදා සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විවෘත වුණා.


    මුදලට තරග පාවාදීම් වැලැක්වීමේ පනත මාර්තුවේ


    මේ අතර දේශපාලන ගොහුරුවේ ප්‍රකාශයක් ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය ශ්‍රී ලංකාව පාවාදුන් බවයි. ඊට මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර මෙන්ම උපුල් තරංග ගෙන්වා ප්‍රශ්න කළා. එම තරගාවලියට කණ්ඩායම තේරූ තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වාගෙන්ද ප්‍රශ්න කෙරුණා. එම විමර්ශන ගොනුව නීතිපති දෙපාර්තමේන්තුව දක්වා ගියා. එහිදී මහින්දානන්ද අලුත්ගමගේගේ චෝදනාව ඔප්පු කළ නොහැකි පදනම් විරහිත එකක් බව කියමින් පොලිස් විමර්ෂන ඒකකය එහි විමර්ෂන කටයුතු අතර මග නවතා ඒ පිළිබඳ අවසන් නිගමනය දීම නීතිපතිට පවරා දැනට මාස ගණනක් වුවත් අදටත් එය නීතිපති වරයා සඟවාගෙන තිබීම සැකයට කරුණක්.


    2011 පාවාදීම් බොරුව කී මහින්දානන්දගේ වාර්තාව නීතිපති සගවයි - Exclusive Exposed Video


    කෙසේ වෙතත් මින් වැඩිම අගතියට පත්වූවන් ලෙස පෙනී ගියේ මහේල හා සංගක්කාරයි. ඒ සාමාන්‍ය වැසියන්ගේ මනසේ ඔවුන් දෙදෙනා එක්ව මෙම තරගය ඉන්දියාවට පාවාදුන් බවට වූ මතයක් නිර්මාණය වීම හේතුවෙනුයි. වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට උපදෙස් දීමට පත්කර ඇති ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස මහේල ජයවර්ධන කටයුතු කරද්දී කුමාර් සංගක්කාර එහි කමිටු සාමාජිකයෙක් වනවා. එහෙත් ඔවුන් දෙදෙනා මෙම විමර්ශන අතරමග අතහැර දැමීම ගැන නිහඬව සිටීම එමගින් ඔවුන් පාවාදී ඇතැයි සාමාන්‍ය වැසියන් තුල මතු වූ සැකය සනාථ කිරීමක් සිදු වී ඇති බව සටහන් කළ යුතුයි. එමෙන්ම මේ පිළිබඳව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහින්දානන්ද හා මහේල,සංගා අතර ගිරයට හසුවූ පුවක් ගෙඩියක මට්ටමට පත්ව තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යවරයා මේ ගැන කිසිදු පියවරක් නොගන්නේ ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී තත්වයට ඔහු පත්ව සිටින නිසා විය යුතුයි.


    ලංකාව පැසිපන්දු, පාපැදි හා වොලිබෝල් ජාත්‍යන්තර තරගත් පාවාදී මාට්ට - Exclusive Exposed


    නිමාවූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මෙරට ඉතිහාසයේ ඉහළම දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දකුණු ආසියා ක්‍රීඩා උළෙලේදී අති අසාර්ථක වුණා. මේ අනුව ඊට හේතු සොයා බැලීම සදහා අන්තර් කාලීන ක්‍රීඩා ඇමති වූ ඩලස් අලප්පෙරුම විශේෂ විගණන කමිටුවක් පත්කළා. ඔවුන් කරුණු රැසක් යටතේ සිදුකළ විමර්ශනයකට අනුව ප්‍රගති සමාලෝචන වාර්තාවක් නිකුත් කළා. එහි සාක්ෂි සහිතව අනාවරණය වූ පාපැදි, පැසිපන්දු හා වොලිබෝල් තරග වලදී ශ්‍රී ලංකා කණ්ඩායම සිදුකළ පාවාදීම් ගැන වැඩිදුරටත් විමර්ශන කිරීම මෙම විශේෂ පොලිස් ඒකකයට පැවරුණා. එතෙත් එම විමර්ශන හඹස් පෙට්ටියට දමා සැගවීමට මෙම ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ විමර්ශන ඒකකය මේ වන විට කටයුතු කර අවසන්. ඒ ක්‍රීඩා අමාත්‍යාංශය එම ප්‍රගති සමාලෝචන වාර්තාව කුණු කූඩයට දැමීමේ ආශිර්වාදයෙන් විය යුතුයි. එම විමර්ෂන කමිටු වාර්තාවේ බොක්සිං සම්බන්ධ තවත් චූදිතයකු වන රුවන් කෑරගල වත්මන් ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙක් බවත් මතක් කළ යුතුයි.


    සාෆ් ප්‍රගති සමාලෝචන වාර්තාව අතුරුදන් - නිලධාරීන් අලුත් ඇමතිවත් අන්දයි


    ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවින් වික්‍රමරත්න සම්බන්ධ දේශීය තරග පාවා දීමේ චෝදනාවටද සිදු වූ දෙයක් නැහැ. එම චෝදනාද ගොනුකරනු ලැබුවේ ක්‍රීඩා අමාත්‍යාංශය පත්කළ කමිටුවකින් වීම කැපී පෙනෙනවා. පසුගියදා මෙය හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවා ප්‍රශ්න කළා ඔබට මතක ඇති.


    LPL ක්‍රිකට් තරගාවලියේ දූෂණයට වැට බදින්න අර්ජුනගෙන් ක්‍රීඩා ඇමතිට ප්‍රශ්න පත්‍රයක්


    මේ අතර මෙම විමර්ශන ඒකකය අකර්මණ්‍ය වීමෙන් වැඩිම අගතියට පත්ව ඇත්තේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් වූ නුවන් සොයිසා හා අවිශ්ක ප්‍රනාන්දුයි. ඒ ඔවුන් දෙදෙනා එක්වූ ඩුබායි රාජ්‍යයේ පැවති T10 තරගාවලියේ පාවාදීමක් සිදුවූ බව කියමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැනවූ තහනමට එරහිව සිදුකළ අභියාචනය විභාග නොවීමයි. එම ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන රැකියා අහිමි වී සිටින අතර ගැටළු රැසකට මුහුණදී සිටිනවා. ඉතින් මෙලෙස විමර්ශන ඒකකය අඳ ගොලු බීරි තත්වයෙන් කටයුතු කිරීම මෙම විමර්ශන ඒකකයෙන් පිලිසරණක් පතන්නන්ගේ බලාපොරොත්තු සුන්කර අවසන්.


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලන් කයි - ICC දැඩි අවවාදාත්මක ලිපියක් ? Exclusive Exposed | Video


    ක්‍රීඩාවල දූෂණ අක්‍රමිකතා මඩින බව පවසන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඒ වෙනුවෙන් ගත් කිසිදු පියවරක් මෙතෙක් වාර්තා වන්නේ නැහැ. මේ හේතුවෙන් ඔහු කටින් බතල සිටුවන බවයි ක්‍රීඩා ක්ෂේත්‍රයේ කතා බහට ලක්ව ඇත්තේ. ක්‍රීඩාවල වැරදි වැලැක්වීමට ඉදිරියේදී බලාපොරොත්තු වනවා නම් අකර්මණ්‍ය වී ඇති මෙම ඒකකය සක්‍රිය කළ යුතුම වනවා. ඊට අවශ්‍ය ගොනු පමණටත් වඩා ඇති බව Lankasportsnews අප මෙලෙස අනාවරණය කර තිබෙනවා. ඊට ක්‍රියාත්මක වී සිය දේශපාලන අනාගතය වඩා පැහැපත් කර ගැනීම ඔහු සතු වනවා. මෑත කාලයේ සාර්ථකම ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර වෙද්දී කෙටිම කාලයකින් නම නොමැකෙන ලෙස ඉතිහාසයට එක්කළ ක්‍රීඩා ඇමති වන්නේ හරීන් ප්‍රනාන්දුයි. අති අසාර්ථකම ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාෆා බව කවුරුත් පිලි ගන්නවා. මේ කුමන ඇමති පිහිටවූ වාර්තාව නාමල් රාජපක්ෂ බිද දමනු ඇත්දැයි මේ වන විට කියන්න දන්නේ උඩ ඉන්න දෙවියන් පමණක් බව අවසන් ලෙස සටහන් කළ යුතුයි. 



    No comments