Friday, November 21, 2025

නි.ඇමති සිටියදී සිම්බාබ්වෙන් කුජීත වූ ක්‍රිකට් පිල ගොඩ ගන්න හදිසි සැළසුමක්


සිම්බාබ්වේට පැරදීම යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමකට එකල සිටම  තිබුණු මහා අවමානයක් ලෙස සැළකෙනවා. මාස කිහිපයක් තුළ විස්සයි විස්සෙන් තරග දෙකක්ම ලකුණු 80 කට හා ලකුණු 95 කට දැවී කුජීත ලෙස පැරදීම සමස්ත ක්‍රිකට් ප්‍රේමීන්ට දරා ගත නොහැකි    කනගාටුවක් බව මේ වන විට සමාජ ජාලා වල සැරිසරණ පෝස්ට් හා කොමෙන්ට් වලින් පෙනෙන දෙයක්.


කුඹුරුසූරිය , තට්ට සනා යනුවෙන් සනත් ජයසූරියව මේ දිනවල හැඳින්වෙන පෝස්ට් දහස් ගණන් දකින්න ලැබෙනවා.


බෝම්බ බිය පෙන්වා ආපහු ආවා නම් මීට වඩා නම්බුව බේරා ගත හැකිව තිබුණු බව බොහෝ දෙනාගේ මතය වී තිබෙනවා.


ඒ අතර ශ්‍රී ලංකා පිලට ශක්තියක් වීම සඳහා ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න  පාකිස්තානයට යැවීමත් බොහෝ දෙනා දකින්නේ මහා විහිළුවක් ලෙසයි. ඇතැම් විට ඔහු කඩුළු අතර වේගයෙන් දිවීම පිළිබඳ අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට මනා පුහුණුවක් එහිදී ලබා දීම පතෝල ක්‍රීඩා ඇමතිවරයාගේ උපක්‍රමයක් වන්නටත් ඉඩ තිබෙනවා. කෙසේ වෙතත් සුගත් ගොස් ඇත්තේ අන්ත පරාජයෙන් පසු ලංකාවට පැමිණි විට ප්‍රේක්ෂකයන්ගෙන් ගුටිකෑමෙන් වැළකීම සදහා විශේෂ උහුණුවක් ලබාදීමට බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ප්‍රකාශ කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරියෙක් Lankasportsnews අප වෙත කියා සිටියේ සිනා සෙමිනුයි.


මේ දවස් වල අනාගත සයිකල් ශූරයන් සෙවීම සඳහා දීප ව්‍යාප්ත සයිකල් සවාරියක් සංවිධානය කිරීමට වැඩි මහන්සියක් දරමින් නොසිටින්නට පතෝල ඇමති වරයා පාකිස්තානය වෙත යාමට ඉඩ තිබුණු බව ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරියෙක් lankasportsnews වෙත පැවසුවා.


වෙනදා ඩුබායි තරග වලට ෂම්මිගේ පුණ්‍යාධාර මගින් ෂොපිං ටුවර් යාමට පොර කන මාධ්‍යවේදීන් කිසිවකු මරණ බය හා පාස්පෝට් එකේ පාකිස්තානු වීසාව වද්දා ගැනීමට ඇති අකැමැත්ත මත පාකිස්තානයට නොයාමත් කැපී පෙනෙනවා.


ඒත් එක් විශේෂ මාධ්‍යවේදීයකුට සනත් ජයසූරිය විසින් ලබා දෙන එක්ස්ලූසිව් නිව්ස් හරහා ඒ සියලු මාධ්‍යවේදීන්ට මෙරට සිට කණ්ඩායමේ තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.


මීට පෙර මෙසේ කණ්ඩායමේ තේරීම් ගැන තොරතුරු ලීක් කර අයිසීසිය මගින් දෙවසරක තහනමකට ලක්වූ අයුරු ජයසූරියට මෙතරම් ඉක්මනින් අමතකවීම ගැන තමන් පුදුම වන බව මේ ගැන අදහස් දැක්වූ අයිසීසියේ ඇන්ටිකරප්ෂන් නිලධාරියකු පවසා තිබෙනවා.


මේ ගැන වැඩි විස්තර අයිසීසියේ ඇන්ට්කරප්ෂන් ලොක්කාගෙන් විමසීමට lankasportsnews කිහිප විටක්ම උත්සාහ දැරුවත් එය ව්‍යර්ථ වුණේ මේ දිනවල ඔහු මෙරට නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු කටයුතු වෙනුවෙන් බිසි වී සිටින නිසයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් පිල මේ දිනවල කන කෑමෙන් බේරා ගැනීමට හෙට අනිද්දා උපුල් තරංග වෙනුවට තේරීම් කමිටු සභාපති ධූරයට යළිත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ගෙන ඒමට සූදානමක් ඇති බවත් වාර්තා වෙනවා. 


පසුගිය වතාවේ ලෝක කුසලාන කුජීත පරාජයෙන් පසුව ලංකාවට පැමිණි අවස්ථාවේ එසේ පැරදුනේ කුමන්ත්‍රණයක් නිසා බව කියුවත් ප්‍රමෝද්‍ය මේ වනතුරු ඒ ගැන විස්තරයක්   නොකියා ක්‍රිකට් ආයතනයේ නාමික තනතුරක් දරමින් ලක්ෂ පහක පඩියක් ලබමින් සිටිනවා.


ඒ හැරුණු විට යූඑන්පියෙන්  පොහොට්ටුවටත් ඉන්පසුව මාලිමාවටත් පැන සිටින ප්‍රමෝද්‍යට එම සුදුසුකම නිසා තේරීම් කමිටු සභාපති කම හා දැනට ලැබෙන පඩියට වඩා දෙගුණයක් පඩියක් හිමි වීමට ඇති ඉඩකඩ බොහෝ වැඩි බව ක්‍රිකට් ආයතනයේ විධායක සභිකයෙක් අපට පැවසුවා.


ලංකා ක්‍රිකට් පිලට වඩා සුදුස්සන් තෝරා දීම සඳහා මේ දිනවල අයැදුම් පත් කැඳවා ඇති අතර විනෝදන්  ජෝන්, චමින්ද මෙන්ඩිස් යන  තේරීම් කමිටු වල කලින් සිට කුල්ල කුජීත වූවන්ද ඒ අතර උණුසුම් තරගයක නිරත වන බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් මොන තරම් තරග පැරදුණත් සනත් ජයසූරියගේ ලක්ෂ හැත්තෑ පහේ පඩිය තවත් ලක්ෂ විසිපහකින් වැඩි කර මීළඟ  ලෝක ශූරතාව තෙක් හෝ යාපනය ක්‍රීඩාංගණය නිම කරන තෙක් දීර්ඝ කිරීමට වැඩි ප්‍රවණතාවක් ඇති බවද විධායක සභිකයා වැඩි දුරටත් අප සමග පැවසුවා.



No comments:

Post a Comment